What To Do If Someone Steals Your Photographs? (සිංහල)

Updated: May 9


ඔව් මේ තියෙන්නේ මේ දවස්වල බොහොම ප්‍රසිද්ධ ඡායාරූපයක්. විශේෂයෙන් facebook වල. නමුත් මේ ඡායාරූපය පිටුපස තියෙන්නේ බොහොම අමිහිරි කතාවක්. ඒ තමයි මේ ඡායාරූපයේ සැබෑ නිර්මාණකරුගේ බුද්ධිමය ප්‍රකාශන හිමිකම, අයිතිය අමු අමුවේ මරා දැමීම.


මොකද්ද මේ ප්‍රකාශන හිමිකම්?


ඒ ගැන කතා කරන්න කලින් අපි වටින් ගොඩින් බලමු මොකද්ද මේ ප්‍රකාශන හිමිකම් කියන්නේ කියල,

ප්‍රකාශන අයිතිය කියන්නේ ශාස්ත්‍රිය සහ කලාත්මක කෘති සඳහා ඒවායේ නිර්මාණකරුවන්ට නීතිය මගින් ලබා දී ඇති අයිතිවාසිකම්.


ආවරණය කරනු ලබන්නේ මොනවද?


2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ශාස්ත්‍රිය හා කලාත්මක කෘති: පොත්, පරිගණක වැඩසටහන්, ලිපි වැනි ලියවිලි, කතා, දේශන ආදී වාචික කෘති, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, සංගීතමය කෘති, චිත්‍රපට, චිත්‍ර, පින්තාරු කිරීම් සහ ඡායාරූප වල නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතීන් ආරක්ෂා කරනවා.


"2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත ගැන වැඩි විස්තර මෙතනින් කියවන්න".

දැන් අපි බලමු ප්‍රකාශන හිමිකම් සහ මේ ඡායාරූපය අතර තියෙන සම්බන්දය මොකද්ද කියල.


ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය අනූව යම් පුද්ගලයෙක් නිර්මාණයක් කර, එම නිර්මාණය ප්‍රකාශයට පත් කොට මහජනයාට ලබාගත හැකි දිනයේ සිට ප්‍රකාශන අයිතිය ආරක්ෂා වෙනවා. සරලව කියනවා නම් පනත අනූව කලාත්මක කෘති ලියාපදිංචි කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.


ලංකාව ඇතුළු රටවල් 176 අත්සන්කර ඇති බ(ර්)න් සම්මුතිය අනුවත් ලියාපදිංචි කිරීම් වැනි ක්‍රියා පටිපාටියක් ප්‍රකාශන හිමිකම් සඳහා අවශ්‍ය වන්නේ නැහැ.


ඒ අනූව මෙම ඡායාරූපයේ මුල් හිමිකරු වන දමිත් ඔසුරංග පනත අනූව මෙම ඡායාරූපයේ ප්‍රකාශන හිමිකරු වෙනවා. ඒ කියන්නේ පනතේ 9(1) සඳහන් වන පරිදී මෙම ඡායාරූපය ප්‍රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීමේ ආර්ථික අයිතිවාසිකම් වලට සහ 10(1) සඳහන් වන සදාචාරාත්මක අයිතිවාසිකම් වල හිමිකරු වනවා.


ඒ විතරක් නෙමෙයි 13 (1) අනූව ආර්ථික අයිතිවාසිකම් වල සහ සදාචාරාත්මක අයිතිවාසිකම් ඡායාරූපයේ හිමිකරු වන දමිත් ඔසුරංගගේ ජීවිත කාලය පුරාවටත්, ඔහුගේ මරණෙන් වසර 70ක් ගතවන තුරුත් ආරක්ෂා වෙනවා.



නමුත් මෙම ඡායාරූපය දිවයින පුවත්පත 2018.10.27 පළකරන්නේ දමිත් ඔසුරංගගේ 9(1) ආර්ථික අයිතිවාසිකම් සහ 10(1) සදාචාරාත්මක අයිතිවාසිකම් අමු අමුවේ නැති කරමින්. හොඳම වැඩේ ඔවුන් මෙම ඡායාරූපය පල කරන්නේ ඡායාරූපයේ හිමිකරු ලෙස හතරලියද්ද කිත්සිරි බණ්ඩාර නම් පුද්ගලයකුගේ නමින්.


නමුත්,


පනතේ 12(6) (අ) සහ (ආ) අනූව කාලීන ආර්ථික, දේශපාලන අදාල සිද්දි වාර්තා කිරීමේදී කර්තෘ වරයාගේ (ඡායාරූප ශිල්පියාගේ) අවසරය ලබාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.


නමුත් ඒ වගන්තියත් දිවයින පුවත්පතට අදාල වෙන්නේ නෑ. මොකද දමිත්ගේ මේ ඡායාරූපය ලබාගත්ත 25වන දින එවැනි ආර්ථික, දේශපාලනික සිද්දියක් වෙලා තිබ්බේ නැහැ. කොහොමත් මේ ඡායාරූපය දේශපාලන සිද්දියකට භාවිතා කරත්; මේ ඡායාරූපයේ තියෙන්නේ සෞදර්යත්මක වටිනාකමක්.


එකත් හරියි කියමුකෝ,


12(6) වගන්තිය අනූව එසේ අවසර ලබා නොගන්න ඕනේ කෘතියේ ප්‍රභවය (source) සහ කර්තෘගේ නම සඳහන් කිරීමේ බැඳීමට යටත්ව. නමුත් දිවයින මේ ඡායාරූපය පළකරන්නේ අදාලම නැති පුද්ගලයකුගේ නමින්.


මේ සඳහන් කරේ දිවයින පුවත්පත නීතියට අනූව උල්ලංගනය කරපු කරුණු කිහිපයක් විතරයි. පනත අනූව තවත් උල්ලංගනය කිරීම් ගණනාවක් මේ ඡායාරූපය සම්බන්ධව වෙලා තියෙනවා.


Facebook ඡායාරූප හොරකමට මොකද කරන්නේ? මෙතනින් කියවන්න

මේ වගේ අවස්ථාවක කර්තෘ වරයාට (දමිත් ඔසුරංග) කුමක්ද කරන්න පුළුවන්?


පුවත්පත දැනුවත් කර තමාට සිදුවූ අගතිය වෙනුවෙන් මුදලක් ලබාගන්න සහ එය නිවැරදි කරන ලෙස බල කිරීමට,


හෝ,


පනතේ 22(1) අනූව මෙවැනි අවස්ථාවක ඉන්ජන්ෂන් තහනමක් මගින් කෘතිය අවභාවිතා කිරීම තහනම් කරවගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 22(2) (ආ) අනූව දරන්නට සිදුවූ පාඩු සඳහා අලාභ මෙන්ම, නීති ගාස්තු ද ගෙවන ලෙසට නියෝග කරන්න අධිකරණයට බලය තියෙනවා.


හැබැයි මේවා ප්‍රායෝගික ද?


ඔව්. බුද්ධිමය දේපළ සම්බන්ද අසාධාරණයට ලක්වුණු නිර්මාණකරුවන් ගණනාවක් මේ පනතේ ආරක්ෂාවට යටත්ව සාධාරණය ඉටුකරගෙන තියෙනවා. ඒ අතර ප්‍රධාන නඩු තීන්දු කිහිපයක් ලෙස,


  • වසන්ත ඔබේසේකරට එරෙහිව ඒ.සි.අලස් නඩු තීන්දුව, - “දඩයම” චිත්‍රපටය

  • ලලිතා සරත්චන්ද්‍ර එදිරිව සන්නස්ගල නඩු තීන්දුව, - “මනමේ” නාට්‍යය හා කෘතිය

  • ශ්‍රී ලංකාවේ A.N.C.L ට එරෙහිව ඡන්ද්‍රගුප්ත නඩු තීන්දුව,

  • ශීලා විජයවර්ධන එදිරිව රජීව් සෙබස්තියන් නඩු තීන්දුව,


හඳුන්වන්න පුළුවන්. මේ කිහිපයක් විතරයි.


ලංකාවේ නිර්මාණකරුවන්ගෙන් 99%ක්ම තමන්ගේ අයිතිවාසිකම් පිලිබඳ දැනුවත් නැහැ. එක්කෝ නීතිය පිලිබඳ ඇති මිත්‍යා මත නිසා කර කියාගන්න දෙයක් නැතුව ඉන්නවා. නමුත් එහෙම වෙන්න අවශ්‍ය නැහැ.


මේ සිදුවීම බොහොම අමිහිරි සිදුවීමක්, මොකද මේ කොල්ලකාලා තියෙන්නේ නිර්මාණකරුවෙක්ගේ අයිතිය. ඒක මුදල් කොල්ලකෑවට වඩා දුකක්.


“නීතිය නොදැන වැරදි කරනවට වඩා හොඳයි, නීතිය දැනගෙන වැරදි නොකර ඉන්න එක”


ඡායාරූපයක ප්‍රකාශන හිමිකම් ගැන තවත් ලිපි ගණනාවක් තියෙනවා, ඒවත් ඉස්සරහට පලකරන්නම්.


ලිපිය වැදගත්වුනා නම් අනිත් අයත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.

© 2018 Ganidu Balasuriya #copyrights



3,593 views